මෝටර් රථ අලුත්වැඩියාවේදී බොහෝ විට ස්කෑනර් එසේත් නැත්නම් පරිලෝකන යන්ත්‍ර භාවිතා වෙනවා. මේ වගේ අවස්ථා වලදී අපි බොහෝ වෙලාවට කියන දෙයක් තමයි “මේ වාහනයට ස්කෑනර් එක වැඩ කරන්නේ නැහැ” එහෙමත් නැත්නම් “මේ වාහනයට අපේ ස්කෑනරය සපෝර්ට් කරන්නේ නැහැ” වගේ දේවල්. එසේත් නැත්නම් “වාහනයේ චෙක් ලයිට් දැල්වුනාට ස්කෑනර් එකෙන් මොකුත් පෙන්නන්නේ නැහැ” වගේ දේවල්. ඇත්තටම මේ වගේ අවස්ථා ඇති වෙන්නේ ඇයි ? මේ වගේ අවස්ථා වලට සාර්ථකව මුහුණ දෙන්න නම් ස්කෑනර් පිළිබඳව අපේ අවබෝධය යම් මට්ටමකට තියෙන්න ඕන.
අද අපේ ලිපියෙන් ස්කෑනර් ගැන යම් අවබෝධයක් ඔබට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එක ලිපියකින් සම්පූර්ණ අවබෝධය ලබා දෙන්න අපහසු නිසා එය ලිපි කිහිපයකින් ඔබට ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මෙහි අඩංගු කරුණු පිළිබඳව වැඩි දුර තොරතුරු එහෙමත් නැත්නම් වැඩි දුර පැහැදිලළි කිරීමක් අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවියෙන් හෝ facebook පිටුවෙන් අපව සම්භන්ද කරගැනීමට ඔබට හැකියාව තියෙන බවත් මතක් කරන්න ඕන.
ඇත්තටම ස්කෑනර් කියන්නේ මොකක්ද?

ඔබ දැනටමත් දන්නවා වෙන්න පුළුවන් ස්කෑනර් එකක් කියන්නේ මෝටර් රථයේ පරිගණක පාලක උපාංග සමග පණිවිඩ හුවමාරු කරගැනීමට සමත්, තාක්‍ෂණික ශිල්පීන්ට අවශ්‍ය වූ විට එම පණිවිඩ හුවමාරුව තුලින් මෝටර් රථයේ දෝෂයක් හඳුනා ගැනීමට හැකියාව ඇති උපාංගයක් බව. ඔවු ඒ අදහස හරි. ඒ වුනත් නිවැරදි විදිහට ස්කෑනර් එකකින් කරන්න පුළුවන් දේවල් මේ විදිහට වෙන් කරලා දක්වන්න පුළුවන්.
1. දෝෂ පරික්ෂා කිරීම සහ අලුත්වැඩියාව (Fault Diagnosis and Repair
2. සක්‍රීය දත්ත පරික්ෂා කිරීම පටිගත කිරීම (Active Data checking and Recording
3. උපාංග ක්‍රියාත්මක කිරීම සහ පරික්ෂා කිරීම (Component Activation and Diagnosis)
4. ක්‍රම ලේඛනය (Programming)
5. ප්‍රති ක්‍රම ලේඛනය (Re-Programming)
6. ආකෘතිය සැකසීම (Configuration)
7. මවු සමාගම සමග ජාලගත වීම (Online Connect with Manufacture)
මේ පිළිබඳව වෙන් වෙන් වශයෙන් වැඩි විස්තර අපගේ ඉදිරි ලිපි තුලින් වැඩි විස්තර ඔබට දැන ගන්න පුළුවන්. ඉහත දැක්වූ කරුණු හතම අප දන්නා කියන සෑම ස්කෑනර් එකකින්ම කරන්න බැහැ. එකට හේතුව දැන ගන්න ස්කෑනර් නිෂ්පානය ගැන යමතාක් දුරට දැන ගන්න වෙනවා.
ස්කෑනර් නිෂ්පාදනය අනුව ප්‍රධාන කොටස් දෙකක් ලෙස වෙන් කරන්න පුළුවන්.
1. OEM Scanner (Original Equipment Manufacture)
2. Generic Scanner
1. OEM Scanner (Original Equipment Manufacturer)
OEM ලෙස හඳුන්වන්නේ යම් නිෂ්පාදකයෙක්ට ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට අවශ්‍ය පරිදි යම් උපකරණයක් නිෂ්පාදනය කරල දෙන තවත් නිෂ්පාදකයෙක් කියල හඳුන්වන්න පුළුවන්. මේ ක්‍රමය ලෝකයේ හුගක් නිෂ්පාදකයින් අනුගමනය කරන ක්‍රමයක්. මේ ක්‍රමය දැන් ලෝකයේ ස්කෑනර් වලටත් පොදු දෙයක් වෙලා තියනවා. බොහොමයක් වාහන නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ වාහන වලට ස්කෑනර් සම්පූර්ණයෙම්ම හෝ අර්ධ වශයෙන් නිපදවීමට වෙනත් නිෂ්පාදන සමාගමක් තෝරාගෙන තිබෙනවා. OEM ස්කෑන් ටූල් එකකට අදාළ රථයේ පරිගණක පද්ධතියට සම්පූර්ණයෙන්ම ඇතුළු වීමේ හැකියාව තිබෙනවා. ඒ විදිහට නිෂ්පානය කරලා දෙන ස්කෑන් ටූල් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නෙත් මෝටර් රථ නිෂ්පාන සමාගමට සහ එම සමාගමේ අනුමැතිය ලත් නියෝජිත ආයතනට වලට පමණයි. අපි ඔර්ජිනල් ස්කෑන් ටූල් එක කියන්නේ ඒ විදිහට නිෂ්පාදනය වූ ස්කෑන් ටූල් වලට. ලෝකයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගම් වල ස්කෑන් ටූල් කිහිපයක නම් පහත පරිදි දක්වන්න පුළුවන්.
Toyota - Toyota Techstream
Nissan - Consult
Benz - Star Diagnosis Tool
Honda - Honda Diagnostic System (HDS)
Suzuki - Suzuki Diagnostic Tool (SDT)
Mitsubishi - Multi Use Tester (MUT)
මේ විදිහට නිෂ්පාදකයින්ට පමණක් වෙන්වූ ස්කෑන් ටූල් එකකින් අදාළ මෝටර් රථයේ ඉහත දැක්වූ කරුණු හතම ඉටුකර ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් මෝටර් රථ නිෂ්පදකයෙක්ගේ මෝටර් රථයක් සඳහා මෙම ස්කෑන් ටූල් සම්භන්ද කිරීමේ හැකියාවක් නැහැ.
2. Generic Scanner
අප හුගක් වෙලාවට මිලදී ගන්නේ මේ වගේ ස්කෑනර්. ජෙනරික් (Generic ) ස්කෑන් ටූල් එකක් කියන්නේ වාහන නිෂ්පාදකයාගේ ඍඡු සම්භන්ද වීමකින් තොරව නිෂ්පාදනය වන ස්කෑන් ටූල් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම වර්ගයේ ස්කෑන් ටූල් එකක් මෝටර් රථ නිෂ්පාදකයින් ගණනාවකගේ මෝටර් රථ සඳහා සම්භන්ද කිරීමේ හැකියාවක් පවතිනවා. මේ විදිහට Generic ස්කෑන් ටූල් නිපදවන සමාගම් ද ලෝකයේ විශාල ගණනක පවතිනවා. ඒ උනත් Generic ස්කෑන් ටූල් එකකට අදාළ රථයේ පරිගණක පද්ධතියට සම්පූර්ණයෙන්ම ඇතුළු වීමේ හැකියාව නම් නැහැ.ඒ නිසාම ඉහත දැක්වූ කරුණු හතම Generic ස්කෑනර් එකකින් ඉටු කර ගන්නත් බහැ.
Generic ස්කෑන් ටූල් නිෂ්පානය වෙන්නේ වක්‍ර ආකාරකයකට. එය උදාහාරණයකින් ම පැහැදිළි කිරීම තේරුම් ගන්න පහසු වේවි.
A කියන්නේ Generic Scanner නිපදවන සමාගමක්. ඔවුන් හට x කියන වාහන නිෂ්පාදකයාගේ වාහන වලට ගැලපෙන එසේත් නැතහොත් සපෝර්ට් කරන ස්කෑනර් එකක් නිපදවන්න ඕන වෙනවා. මෙහිදී A සමාගම කරන්නේ x නමැති වාහන නිෂ්පාදන සමාගම නිල වශයෙන් සම්භන්ද කරගෙන තමාගේ අවශ්‍යතාව පැහැදිලි කරන එක. මෙහිදී එම ඉල්ලීම ට අනුව x නමැති වාහන නිෂ්පාදන සමාගම ඔවුන්ගේ මෝටර් රථ වල පරිගණක පාලක සමග සම්භන්ද වීමට අවශ්‍ය ප්‍රවේශ දත්ත යම් ප්‍රමාණයක් A නමැති ස්කෑනර් නිෂ්පාදන සමාගමට ලබා දෙනවා. එහිදී එම ඉල්ලීම අනුමත කිරීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම වගේම ලබාදෙන දත්ත ප්‍රමාණය එම සමාගම් දෙක අතර පවතින සහයෝගිතාව මත රඳා පවතින්නක්. ඇත්තටම වැඩි සහයෝගීතාවයක් පවතිනවා නම් වැඩි දත්ත ප්‍රමාණයක් A සමාගමට ලබා ගන්න පුළුවන් වගේම ඒ නිසාම ඔවුන්ගේ ස්කෑනර් ඒක A නිෂ්පාදන සමාගමේ වාහන වලට හොඳ සහයෝගයක් දක්වනවා. මේ ක්‍රමයම අනුගමනය කරමින්
A සමාගම අනෙකුත් වාහන නිෂ්පාදකයින් සමගත් සම්භන්ද වී ඔවුන්ගේ ස්කෑනර් එක නෂ්පාදනය කරනවා. මෙහිදී මතක තබා ගන්න ඕන කරුණක් වන්නේ පෙර කිවූ සහයෝගීතාවය මත අප මිලදී ගන්න Generic ස්කෑනර් ඒකෙන් පරික්ෂා කරන්න පුළුවන් මෝටර් රථ වර්ගත් මදිලිත් රඳා පවතින බව.
ඒ වගේම OBD II ජාත්‍යන්තර සම්මතය අනුව ඕනෑම වාහන නිෂ්පාදන සමාගමක් තමන්ගේ පරිගණක පාලක ප්‍රවේශ දත්ත යම් ප්‍රමාණයක් (විශේෂයෙන්ම එන්ජිම සහ පිටාර වායු පාලන පද්ධති) පොදුවේ එකම ආකාරයකට නිපදවිය යුතු වෙනවා. ඒ නිසා වාහන නිෂ්පාදකයන්ගේ විශේෂ මැදිහත් වීමක් නොමැතිව වුවද ස්කෑනර් නිෂ්පාදන සමාගමකට තමන්ගේ ස්කෑනර් ඒක ඕනෑම වාහන වර්ගයක එම පද්ධති සමග යම් තාක් දුරට ක්‍රියා කල හැකි ආකාරයට නිපදවීමේ හැකියාව ලැබී තිබෙනවා. නමුත් බොහොමයක් පද්ධති සමග කියාකරන සහ කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය පෙර කිවූ සහයෝගීතාව මත තීරණය වන්නක්.
ඒවගේම ඇතැම් ස්කෑනර් නිෂ්පාදන සමාගම් කූට උපක්‍රමද යොදා ගනිමින් පෙර කිවූ ප්‍රවේශ දත්ත ලබාගෙන ඉතාම අඩු මුදලට ස්කෑනර් නිපදවා වෙළඳපලට නිකුත් කරනවා. මෙවැනි ස්කෑනර් එකකින් කරන පරීක්ෂාවක ප්‍රථිපල සහ අලුත්වැඩියාවන් ගැන නම් විස්වාසයක් තියන්න අපහසුයි.
අපගේ ඉදිරි ලිපයකින් ස්කෑනර් එකක් යොදා ගනිමින් සිදු කිරීමට හැකි ප්‍රධාන කාර්යාන් හත පිළිබඳව වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
ස්කෑනරය සම්භන්ධ කරනු ලබන ඩේටා ලින්ක් කනේක්ටරයේ අග්‍ර වලට ලැබෙන සැපයුම් එම අග්‍ර සම්භන්ධ වන සම්මත පිළිවෙල පහත පරිදි වේ, .
Pin 1 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 2 = දත්ත රැගෙන යන බස් වයරය - Bus (+) SAE J 1850 ජාත්‍යන්තර සම්මතය අනුව
Pin 3 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 4 = චැසිය හා සම්භන්ධ වන අර්ත් වයරය
Pin 5 = සෙන්සර සහ පරිගණක පාලකයට සම්භන්ධ වන අර්ත් වයරය
Pin 6 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 7 = ISO K Line (ISO 9141)
Pin 8 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 9 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 10 = දත්ත රැගෙන යන බස් වයරය (-) SAE J 1850 ජාත්‍යන්තර සම්මතය අනුව
Pin 11 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 12 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 13 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 14 = නිෂ්පාදකයාගේ අභිමතය පරිදි යොදා ගැනේ
Pin 15 = ISO L Line (ISO 9141)
Pin 16 = බැටරි ධන අග්‍රය +
